An English summary of this report is below. The original report, published in Sinhala in The Leader, follows.
While Sri Lankan authorities have failed to assess the environmental damage caused by the X-Press Pearl disaster since November 2022, a group of local and international journalists, together with Pulitzer Center's Ocean Reporting Network and Watershed Investigations, conducted a special scientific investigation over the last several months. The results of this investigation were revealed by BBC World Service on July 1, 2025.
A team of researchers who provided samples of plastic pellets found along the Sri Lankan coastline—from the time of the X-Press Pearl disaster to the end of last year—to scientists at Manchester Metropolitan University in the UK reviewed the results of this analysis.
"Some of those plastic pellets were quite heavily contaminated, the ones that were involved in the fire, and they will have leached their pollution into the environment. The plastic pellets that are still going round appear to be sucking up more pollution from the environment and are becoming more toxic," said David Megson, a forensic chemist specializing in environmental pollution, at Manchester Metropolitan University

As a nonprofit journalism organization, we depend on your support to fund more than 170 reporting projects every year on critical global and local issues. Donate any amount today to become a Pulitzer Center Champion and receive exclusive benefits!
X-Press Pearl: විෂ සහිත ප්ලාස්ටික් කැබලිති ගැන විශේෂ බීබීසී අනාවරණයක්

අදින් සිව් වසරකට පෙර, 2021 ජුනි 02 වෙනි දින, සිංගප්පූරු ධජය සහිත එක්ස්ප්‍රස් පර්ල් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගෙන දැවී ගියේ ටොන් 1600ක ප්ලාස්ටික් කැබලිති (plastic pellets) සාගරයට මුදාහරිමින්.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එය විග්‍රහ කළේ, ලෝකයේ දැවැන්තම ප්ලාස්ටික් ව්‍යසනය ලෙසින්.
එදා එසේ සාගරයට එක් වූ බිලියන ගණනක් වූ ප්ලාස්ටික් කැබලිති අද මේ වනතුරුමත් වරින්වර ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් මතුවෙනවා. සරක්කුව, මීගමුව සහ පුත්තලම වැනි ප්‍රදේශවල වෙරළ තීරයේ සියයකට ආසන්න කාන්තාවන් මේ වනතුරුත් දිනපතාම මේ ප්ලාස්ටික් කැබලිති (nurdles) එකතුකරමින් සිටිනවා.
එතරම් ව්‍යසනයක් සිදුවීමෙන් පසුවත්, අද දක්වාම වෙරළ තීරයට ප්ලාස්ටික් කැබලිති වෙරළෙන් මතුවෙමින් තිබුණත්, සමුද්‍රීය පරිසර අධිකාරිය (MEPA මීපා ආයතනය) විසින් පත්කරන ලද 40කට අධික විද්‍යාඥයින් පිරිසට දිගටම සිය පර්යේෂණ කරගෙන යාමට 2022 නොවැම්බර් මාසයෙන් පසුව අවසර ලැබුණේ නැහැ.
එම කමිටුව පත්කරනු ලැබුවේ මීපා ආයතනය විසින් වුවත්, විශේෂඥ කමිටුවේ කාලය දීර්ඝ කිරීමට රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිල නැති බව තමයි වාර්තා වෙන්නේ.
ඒ අනුව 2022 නොවැම්බරය දක්වා පවත්වන ලද ගවේෂණ ඇසුරින් සකස්කරන ලද විශේෂඥ කමිටුවේ දෙවැනි අතුරු වාර්තාව, 2023 වසර මුලදී නීතිපති දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවා. එයින් අනතුරුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ප්‍රවාහනය කළ විෂ රසායන, ලිතියම් බැටරි, ප්ලාස්ටික් කැබලිති, කෝස්ටික් සෝඩා ඇතුළු සමුද්‍ර ජීවිතයට හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍ර ජීවීන්ට සහ පරිසරයට සිදු වූ හානිය ගැන නිසි පරීක්ෂණයක් සිදු වී තිබුණේ නැහැ.
මේ විදියට ශ්‍රී ලංකා බලධාරීන් ව්‍යසනයේ පරිසර හානිය පිරික්සා බැලීම අත්හැර දමා තිබුණ පසුබිමක දෙස්, විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් සහ පරිසර සංවිධාන කිහිපයක් එක්ව මාස කිහිපයක් මුළුල්ලේ කරන ලද විශේෂ විද්‍යාත්මක ගවේෂණයක ප්‍රතිඵල බීබීසී ලෝක සේවය පසුගිය සතියේ අනාවරණය කළා.
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සිදු වූ අවස්ථාවේ සිට පසුගිය වසර අගභාගය දක්වා ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් හමු වූ ප්ලාස්ටික් කැබලිති සාම්පල බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් වෙත ලබා දුන් ගවේශකයින් පිරිස, එම පරීක්ෂණයේ ප්‍රතිඵල විමසා බැලුවා.
මත්ස්‍යයින් හෝ සමුද්‍ර ජීවීන් මුහුදේ පාවෙන ප්ලාස්ටික් කැබලි ආහාරයට ගතහොත් එය ඔවුන්ට හානිකර බව බොහෝ පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා. අනෙක් අතට, එක්ස්ප්‍රස් පර්ල් මෙන්ම එවැනි වෙනත් නෞකා අනතුරු මගින් සාගරයට මුදා හැර තිබෙන විෂ ද්‍රව්‍ය මේ කුඩා ප්ලාස්ටික් කැබලි මගින් උරාගෙන තිබිය හැකි වීම (contaminated) තවත් බරපතල අනතුරක්.
මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ, වෝහාරික රසායන විද්‍යාඥයෙකු වන ඩේවිඩ් මෙග්සන් (David Megson) විග්‍රහ කළ පරිදි ශ්‍රී ලංකාවේ සිට රැගෙන ආ - එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සාගරයට මුදා හැරුණු ඇතැම් ප්ලාස්ටික් කැබලිති ඉතාමත් දරුණු ලෙසින් විෂ උරාගෙන තිබුණා. තවමත් සාගරයේ තිබෙන ප්ලාස්ටික් කැබලිති තවදුරටත් පරිසරයේ පවතින විෂ උරාගනිමින් සිටින හැඩක් දක්නට ලැබෙන බවත් ඔහු පවසනවා.
"ප්ලාස්ටික් මේ වගේ දේවල් උරාගන්න බොහොම දක්ෂයි. ඒ නිසා ඒවා සාගරයේ පාවෙන අතරේ සාගරයේ අහුමුළුවල තියෙන රසායනත් උරාගනිමින් යනවා," කියල ඩේවිඩ් මෙග්සන් කියනවා.
ප්ලාස්ටික් කැබලිතිවල මෙසේ විෂ ද්‍රව්‍ය හමුවීම මගින් ඇඟවෙන්නේ ඒවා සමුද්‍ර ජීවිතයට හානිකර බව දැයි විමසූ විට ඔහු කියා සිටියේ, කවර ලෙසකින් හෝ එමගින් සමුද්‍ර ජීවීන්ගේ සෞඛ්‍යයට යහපතක් කරනු නැති බවයි. විෂ සහිත ප්ලාස්ටික් කැබලිති, සමුද්‍ර පරිසරයට මෙන්ම මසුන් ආහාරයට ගන්නා මිනිසුන්ගේ සෞඛ්‍යයට හානිකර වීමේ හැකියාවක් පවතින බවත් ඔහු පෙන්වා දෙනවා. කෙසේ වුවත් එමගින් කෙරෙන හානිය පිළිබඳව නිසි තක්සේරුවක් කිරීමට තවත් සාක්ෂි අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකා විද්‍යාඥයින් 2022 වසරේ අග භාගයේදී කරන ලද පර්යේෂණවලින් අනතුරුව, X-Press Pearl ව්‍යසනයේ පාරිසරික බලපෑම ගැන පවත්වන ලද විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵල මෙසේ ප්‍රකාශයට පත් කෙරුනේ ප්‍රථම වතාවට.
කෙසේ වුවත්, තවත් බොහෝ සමුද්‍රීය අනතුරු මගින් සාගරයට විෂ රසායන කාන්දු වී තිබිය හැකි බැවින් ප්ලාස්ටික් කැබලිතිවල තිබී හමු වූ විෂ ද්‍රව්‍ය කෙලින්ම එක්ස්ප්‍රස් පර්ල් අනතුර සමග සම්බන්ධ කිරීම දුෂ්කර බවත් මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්විද්‍යාලයේ ඩේවිඩ් මෙග්සන් සඳහන් කළා.
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන බීබීසී අනාවරණයේ තවත් පැතිකඩක් සමග ළගදීම යළිත් ඔබ හමුවෙන්නම්.
වැඩසටහන සම්පාදනය සහ ඉදිරිපත් කිරීම: ලියානා හොසිය (Leana Hosea, Co-founder, Watershed Investigations )
නිෂ්පාදක: ඇලෙක්ස් ලාස්ට් (Alex Last)
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය: සරෝජ් පතිරණ (Saroj Pathirana, Pulitzer Centre's Ocean Reporting Network Fellow)
අනුග්‍රහය: Pulitzer Centre's Ocean Reporing Network සහ Watershed Investigations
ඉදිරි වසර පුරාම ඔබට මේ ලින්කුවෙන් Sri Lanka: The X-Press Pearl disaster වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. බීබීසී පොඩ්කාස්ට් අඩවියට ගියොත් Sri Lanka: The X-Press Pearl disaster ඔබට ඒ වැඩසටහන බාගත කරගන්නත් පුළුවන්.