An English summary of this report is below. The original report, published in Sinhala in The Leader, follows.
Oral and written submissions concluded this week in the Fundamental Rights petitions filed seeking compensation from the Sri Lankan government and the shipowners for the damage caused to Sri Lanka and its marine environment by the X-Press Pearl vessel, which caught fire and was destroyed off Sri Lanka’s coast.
The Supreme court of Sri Lanka is expected to deliver its verdict very soon on the petitions that were under examination for more than three years.
Over 20 individuals, including the Attorney General, several state institutions, the shipping company, and its local agents, have been named as respondents in these petitions.
Journalist Saroj Pathirana looks back at the arguments and counterarguments made during the court proceedings.

As a nonprofit journalism organization, we depend on your support to fund more than 170 reporting projects every year on critical global and local issues. Donate any amount today to become a Pulitzer Center Champion and receive exclusive benefits!
X-Press Pearl ව්‍යසනය සම්බන්ධ නඩු විභාගය අවසන්, තීන්දුව ළඟදීම
ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සහ සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් සහ නෞකා හිමිකරුවන්ගෙන් වන්දි ඉල්ලමින් පවරා තිබුණ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධ වාචික සහ ලිඛිත කරුණු දැක්වීම් මේ සතියේ අවසන් විය.
පසුගිය මැයි 27 වෙනි දින වාචික කරුණු දැක්වීම් අවසන් වීමෙන් අනතුරුව, ලිඛිත ඉදිරිපත් කිරීම් සඳහා අධිකරණය විසින් තවත් සතියක කාලයක් ලබා දුන්නේය.
ඒ අනුව වසර තුනකට අධික කාලයක් විභාග වූ පෙත්සම් සම්බන්ධ තීන්දුව ඉතා ඉක්මනින්ම ප්‍රකාශයට පත්වීමට නියමිතය.
නීතිපතිවරයා, රජයේ ආයතන ගණනාවක්, නෞකා හිමිකාර සමාගම සහ එහි දේශීය නියෝජිතයින් ඇතුළු 20කට වැඩි පිරිසක් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙසින් නම්කරනු ලැබ සිටී.
නීතිපතිවරයා සහ රාජ්‍ය ආයතන වෙනුවෙන් පෙනී සිටිමින් දීර්ඝ කරුණු දැක්වීමක යෙදුණ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ, ව්‍යසනයෙන් අනතුරුව මසුන් මැරීමේ තහනමක් පැනවීම හේතුවෙන් ධීවර ප්‍රජාවට අහිමිවූ ආදායම වෙනුවෙන් මේ වනවිට ඩොලර් මිලියන 15ක මුදලක් වන්දි වශයෙන් ලැබී තිබෙන අතර, එයින් ඩොලර් මිලියන 14ක් ධීවරයින්ට ලබා දී ඇතැයි අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම ව්‍යසනයේදී, විශේෂයෙන්ම කොවිඩ් වසංගතයේ උච්ඡතම අවස්තාවක, රාජ්‍ය ආයතන සියල්ල සිය වගකීම් උපරිම වශයෙන් ඉටු කරන ලද බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේ, කිසියම් ලෙසකින් රාජ්‍ය ආයතන ද මෙම ව්‍යසනයට වගකිව යුතු බවට අධිකරණය තීරණය කරනු ලැබුවහොත් එය ඉතා අසාධාරණ බවය. අධිකරණය විසින් රජයට අයත් නොවන ආයතනයකට දඬුවම් නියම කිරීම සඳහා රාජ්‍ය ආයතන වැරදිකරුවන් ලෙස නිගමනය කිරීම පූර්ව කොන්දේසියක් විය නොයුතු බවද ඔහු අවධාරණය කළේය.
නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ සඳහන් කළ ආකාරයට පෙත්සම්කරුවන්, රාජ්‍යය සහ නෞකා හිමිකරුවන් ලෙසින් මෙම නඩුවේ පාර්ශව තුනක් සිටින හැඩක් බැලූ බැල්මට දක්නට ලැබුණද, සැබවින්ම සිටින්නේ පාර්ශව දෙකක් පමණකි - එනම් පෙත්සම්කරුවන් සහ නෞකා හිමිකරුවන් පමණි. ඔහු පවසන පරිදි කිසියම් රාජ්‍ය ආයතනයකට හෝ ආයතන කිහිපයකට එම ව්‍යසනයේ වගකීම පැවරිය නොහැකිය.
කෙසේ වුවත්, පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ, සමුද්‍රීය පරිසර අධිකාරිය - මීපා ආයතනය - දැඩි විවේචනයට ලක් කළේය. ව්‍යසනය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීම නෞකා හිමිකරුවන්ට සමීප සංවිධානයක් වන ITOPF ආයතනයට පැවරීම මගින් මීපා ආයතනය සිය වගකීම් පැහැර හැර ඇති ඔහු චෝදනා කළේය.
හානිය තක්සේරු කිරීමේදී විශේෂඥ කමිටුවේ අවධානයට ලක් වූ කරුණු 35 ක් අතරින් තක්සේරු කිරීම් සම්පූර්ණයෙන් අවසන්ව තිබෙන්නේ අංශ තුනක පමණක් බවටත් ආචාර්ය දාබරේ අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. එබැවින් සැබෑ තක්සේරුව ඩොලර් බිලියන 6.4කට වඩා වැඩි බව ඔහු අවධාරණය කළේය.
එසේ නම් ඉල්ලා සිටින වන්දි මුදල කවරේදැයි අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විමසීමක් කළ විට ඔහු සඳහන් කළේ, අඩුම තරමින් ඩොලර් බිලියන 6.4ක් වත් ලැබිය යුතු බවය. කෙසේ වුවත්, මීට ඉහතදී සංදේශය නාලිකාව සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වන්දි මුදල අඩුම තරමින් ඩොලර් බිලියන 10ක්වත් විය යුතු බවය.
මේ අතර පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින්, එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදු වූ පාරිසරික හානිය වෙනුවෙන් ඩොලර් බිලියන 6.4ක් මෙන් කිහිප ගුණයක වන්දියක් ලැබිය යුතු බව කියා සිටියේය. නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය එම මුදල සඳහන් කළ අවස්ථාවේ අධිකරණය තුළ සිටි ඇතැමුන් විශ්මය පළ කළ නමුත් "මෙය විශ්මිත මුදලක් ලෙස පෙනී යා හැකි වුවත්, හානියත් ඒ හා සමානවම විශ්මිත," බව ඔහු කියා සිටියේය.
මූලික පෙත්සම් විභාගය අතරතුර නෞකා සමාගම වෙනුවෙන් දින කිහිපයක් මුළුල්ලේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, නෞකා සමාගමට සහ දේශීය නියෝජිතයින්ට එරෙහිව ඉදිරිපත් වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේය. ධීවරයින්ට සිදු වූ පාඩුව වෙනුවෙන් මේ වනවිටත් වන්දි ගෙවා ඇති බව පෙන්වාදුන් ඔහු, "හොඳ හිත පළකිරීමේ ඉඟියක්" ලෙස අවසාන වශයෙන් තවත් රුපියල් මිලියන 800ක් ධීවරයින්ට ගෙවීමට සූදානම් බව ඔහු යෝජනා කළ නමුත් ඒ අවස්ථාවේ නැගී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදිනී නයෝමි කහවිට කියා සිටියේ, එය ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ඉල්ලා තිබෙන මුදලක් බවය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීම, සුන්බුන් ඉවත්කිරීම සහ වෙරළට ගොඩ ගැසූ ප්ලාස්ටික් කැබලි ඉවත්කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් නෞකා සමාගම තවත් විශාල මුදලක් වැයකරන ලද බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ පැවසීය.
විශේෂයෙන්ම, මීපා ආයතනය විසින් පත්කරන ලද විශේෂඥයින්ගේ ඩොලර් බිලියන 6.4ක තක්සේරුව තරයේ ප්‍රතික්ෂේප නෞකා සමාගමේ නීතිඥවරයා කියා සිටියේ, එම විශේෂඥ වාර්තාව එය ලියා තිබෙන කොළ කැබලි තරම්වත් නොවටිනා එකක් බවය. කෙසේ වෙතත්, අදාළ වාර්තාව අන්තර්වාර වාර්තාවක් විනා අධිකරණයට ඉදිරිපත් කිරීම පිණිස සකස්කරන ලද අවසන් වාර්තාව නොවන බව ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සිය කරුණු දැක්වීම අතරවාරයේ පෙන්වා දුන්නේය.
මැල්කම් රංජිත් කාදිනල් හිමියන්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා සමග ධීවරයින් පිරිසක්, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ සමග ධීවරයින් පිරිසක් සහ පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබුණි.
සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පෙත්සම්කාර ධීවරයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න, නෞකාවේ විෂ රසායන කාන්දුවෙන් ඇති වූ බලපෑම වත්මන් පරපුරට පමණක් නොව නූපන් දරුවන්ටත් බලපානු ඇති බව අධිකරණය හමුවේ කියා සිටියාය. එමෙන්ම 2000 කට ආසන්න ධීවරයින් පිරිසකට තවමත් කිසිදු වන්දියක් ලැබී නැති බවත් ඇය සඳහන් කළාය.
ව්‍යසනය අවස්ථාවේ මීපා ආයතනය ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රතිචාරය කාදිනල් හිමියන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිවේදී නිල්ශාන්ත සිරිමාන්න ගේ දැඩි විවේචනයට ලක්විය. අවසාන වතාවට ධීවරයින්ට වන්දි වාරිකයක් ලැබී තිබෙන්නේ 2023 අප්‍රේල් මාසයේදී බව අධිකරණය ඉදිරියේ පෙන්වාදුන් ඔහු, මෙතෙක් ලබා දී තිබෙන වන්දි මුදල් සලකා බැලීමේදී එක් ධීවර පවුලකට එක මාසයක් සඳහා ලැබී තිබෙන්නේ රුපියල් 4850ක් බවත් සඳහන් කළේය.
මීපා ආයතනයේ හිටපු සභාපතිනි, නීතිවේදිනී දර්ශනී ලහඳපුර වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා සහ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර කරුණු දැක්වූහ. දින ගණනාවක් මුළුල්ලේ නයිට්‍රික් අම්ලය කාන්දු වූ කන්ටේනරයක් ද සමග යාත්‍රා කළ X-Press Pearl, මුහුදේ යාත්‍රා කිරීමට නොසුදුසු (unseaworthy) නෞකාවක් බවට ආචාර්ය ගුණසේකර තර්ක කළේය.
ලබන ජුලි මාසයේ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විශ්‍රාම යාමට පෙරාතුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.
(එක්සත් ජනපදයේ මූලස්ථානය සහිත Pulitzer Centre හි Ocean Reporting Network ආයතනය සමග එක්ව වසරක් මුලුල්ලේ කරන ලද ගවේෂණයක වාර්තාවක් ඇසුරෙනි)