
An English summary of this report is below. The original report, published in Sinhala in The Leader, follows.
The third United Nations Ocean Conference, held in the picturesque city of Nice, France, concluded on June 13, 2025, emphasizing the need for urgent action to protect the ocean and sustainably use marine resources. However, it fell short of its goal of securing the 60 ratifications needed to enforce an agreement aimed at protecting marine life.
Enric Sala, National Geographic explorer and founder of Pristine Seas, stressed that “a drop in the bucket” doesn’t match the urgency of the ocean crisis. Most sharply, he criticized France, the conference host, for allowing bottom trawling to continue in waters ostensibly under protection.

As a nonprofit journalism organization, we depend on your support to fund more than 170 reporting projects every year on critical global and local issues. Donate any amount today to become a Pulitzer Center Champion and receive exclusive benefits!
සාගර සමුළුවේ සම්මුතියක් නෑ — සාගරය සුරැකීමට 'වහාම පියවර ගන්න'
සාගරය රැක ගැනීම පිණිස සහ සාගර සම්පත් තිරසර ලෙසින් භාවිත කිරීම පිණිස වහාම පියවර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ප්‍රංශයේ අති දර්ශනීය නීස් නගරයේ පැවැත්වුන එක්සත් ජාතීන්ගේ තුන්වෙනි සාගර සමුළුව සිකුරාදා නිමාවට පත්වුණා.
සාගරයේ රක්ෂිත තවදුරටත් පුළුල් කිරීම, කාබන්වලින් තොර සමුද්‍රීය ප්‍රවාහනයක්, සාගර දූෂණය වැළැක්වීම සඳහා පියවර ගැනීම සහ සමුද්‍ර ඛාදනයට හා සාගර දූෂණයට මුහුණ දී සිටින වෙරළ තීර හා දූපත් රාජ්‍ය වෙනුවෙන් තවත් අරමුදල් වෙන්කිරීම ඇතුළු කරුණු ගණනාවක් සමුළුව අවසානයේ නිකුත් කෙරුණ ඒකාබද්ධ නිවේදනයට ඇතුළත්.
නීස් සාගර ක්‍රියාකාරී සැලසුම (Nice Ocean Action Plan) සකස් කිරීමේදී අදාළ රටවල් දුන් ප්‍රතිඥා දැන් ඒ අයුරින්ම ඉටු කළ යුතු බව සමුළුවේ මහ ලේකම්වරයා ලෙසින් ක්‍රියා කළ, ආර්ථික හා සමාජයීය කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම් ලී ජුන්හුවා (Li Junhua) අවධාරණය කළා.
සමුළුවේදී එකඟ වූ කරුණු ගෝලීය සහ කලාපීය සමුලුවලත් අවධානයට ලක් කොට, ජාතික වශයෙන් ගනු ලබන තීරණවලට එකතුකළ යුතු බවත් මහ ලේකම්වරයා සඳහන් කළා.
රටවල් 170කට වැඩි ප්‍රමාණයක් ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා තිබුණත් සම-සත්කාරක ප්‍රංශය සහ කොස්ටා රිකා රාජ්‍යය බලාපොරොත්තු වූ අයුරින් 2030 වනවිට ලෝකයේ සාගරයෙන් 30%ක් රක්ෂිත ලෙසින් නම් කිරීම සඳහා නව සම්මුතියක් ඇතිකරගැනීම මේ සමුළු වාරය තුළ සාර්ථක වූයේ නැහැ.
නීස් සාගර සමුළුවේදී තවත් රටවල් 20ක් අත්සන් තැබීමත් සමග මේ වනවිට රටවල් 136ක් එම සම්මුතියට අත්සන් තබා ඇතත්, එය දේශීය නීතිවලට ඇතුළත් කොට තිබෙන්නේ යුරෝපා සංගමය සහ තවත් රටවල් 50ක් පමණයි. සම්මුතිය බලාත්මක වීම සඳහා තවත් රටවල් 10ක් එය නීතිපොතට ඇතුළත් කළ යුතුව තිබෙනවා.
රාජ්‍ය නායකයින් 55ක් සහ සිවිල් සමාජ ක්‍රියාධරයින්, විද්‍යාඥයින් සහ ව්‍යාපාරිකයින් 15,000 ක් නීස් සාගර සමුළුවට එක්ව සිටියා. සමුළුව පැවති සතිය පුරා ලක්ෂයක ජනකායක් සමුළුවට පැමිණි බව, කොස්ටා රිකා විදේශ ඇමතිවරයා මාධ්‍ය හමුවේ කියා සිටියා. ප්‍රධාන සමුළුවට අතිරේකව තවත් සම්මන්ත්රණ (side events ) 450ක් ද පැවැත්වුණ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
දැනට ක්‍රියාත්මක සාගරය ආරක්ෂා කිරීමේ පියවර ශක්තිමත් කිරීම පිණිස තවත් මුදල් ලබාදීමට ඉතාලිය, කැනඩාව සහ ස්පාඤ්ඤය ඇතුලු රටවල් එකඟත්වය පළ කළා. කෙසේ වුවත් සාගරය සුරැකීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ 14 වෙනි තිරසර සංවර්ධන ඉලක්කය (SDG 14) එම ඉලක්ක අතරින් අඩුවෙන්ම ප්‍රතිපාදන වෙන් කෙරෙන ඉලක්කය බව සමුළු මහ ලේකම්වරයා පෙන්වා දුන්නා.
සාගරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන Ocean Pact වැඩසටහන වෙනුවෙන් යුරෝ බිලියනයක මුදලක් ආයෝජනය කරන බවට යුරෝපා සංගමය නිවේදනය කිරීමත් කැපී පෙනුණා.
'අසාර්ථක සමුළුවක්'
කෙසේ වුවත් National Geographic Pristine Seas සංවිධානයේ නිර්මාතෘ එන්රික් සාලා Enric Sala පවසන්නේ, සාගර සංරක්ෂණය වෙනුවෙන් දැවැන්ත ඉදිරි පියවරක් තැබීමට සම-සත්කාරක ප්‍රංශය අපොහොසත් වූ බව.
විශේෂයෙන්ම සංරක්ෂිත ලෙසින් නම් කොට තිබෙන සාගර කලාපවල පවා මුහුදු පතුල කළඹා මසුන් ඇල්ලීමට (bottom trawling) දිගටම අවසර දෙන බවට ඔහු ප්‍රංශයට චෝදනා කරනවා.
සමුද්‍ර ගවේෂකයෙකු වන Enric Sala, ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරා ගේ නවතම නිර්මාණය වන Ocean with David Attenborough චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරයා.
"අපේ ග්‍රහලෝකයේ පෙනහළු වන සාගරය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන පිරුණු බකට්ටුව වෙනුවට, අවසානයේ නීස් සමුළුව එකතු කළේ වතුර බින්දුවක් පමණක්," බවත් ඔහු පවසනවා.

කොළොම්බියාව, සමෝවා රාජ්‍යය, මාෂල් දූපත් සහ තවත් රටවල් කිහිපයක් අලුතින් සාගර රක්ෂිත ප්‍රකාශයට පත්කිරීම ඔහුගේ ප්රසංශාවට ලක්විය. කෙසේ වුවත් 2030 වනවිට ලෝක සාගරයෙන් 30%ක් රක්ෂිත බවට පත්කිරීම සඳහා ඉබි ගමනින් යා නොහැකි බවත් ඔහු අවධාරණය කළා.
"මේ ඉලක්කයට ළඟාවීම සඳහා අපි දිනකට අලුත් සාගර රක්ෂිත 85ක් ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒ වගේම ඒ රක්ෂිත දැඩිව ආරක්ෂා කළ යුතුයි."